විදුලි අර්බුදය හා ලංවිම 

සැබැවින්ම අද පවතින විදුලි අර්බුදයට වගකිවයුත්තේ කවුද ?

1969 ඇරඹෙන ලංකා විදුලිබල මණ්ඩලය 1994 වනවිට රටට බරක් නොවූ ආයතනයකි. පසුව ලංවිම සතු මුදල් එවකට පැවති යුද්ධයට වියදම් කිරීම සදහා එවක රජය ලබාගත්බව අප කාටත් නොරහසකි. එයින් ඇරඹුන කඩාවැටීම ඉතා උච්චතම තැනට අද පැමිණ තිබේ. මෙයට විසදුම් සෙවීමට 2002 වසරේ එවකට රජයට අවස්ථාව උදාවිය එහෙත් අවසන එවකට විදුලිබල අමාත්‍යවරයා " කලුවර ජයසූරිය "  නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන තරමට තීව්‍රවී අවසන්වූවා මිස විසදුමක් ලැබුනේ නැත.

නමුත් එදා විසදුම් ලෙස අධිබලැති ජනන යන්ත්‍ර කිහිපයක් රටේ ස්ථාන කිහිපයක සවිකර රටට විදුලිය ලබාදීමට උත්සහකල අතර ඒවායේ අධික ශබ්දය නිසා මහජන විරෝධය එල්ලවිය. එයට විසදුම ලෙස ඉදිකල ගොඩනැගිලි පමණක් අදටත් අපට දැකගත හැක. (උදා:- මාලඹේ අරංගල පිහිටි අද ලංවිම පුහුණු මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ එම ගොඩනැගිල්ලකි).

ඉන්පසු දිගින් දිගටම සෑම වසරකම නිරන්තර විදුලි කප්පාදුවක් සිදුවන තැනට රට පත්විය. එවන් පසුබිමක 1995 චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයන් උත්සහ කල විරෝධතා මැද හල්කුලාගත් නොරොච්චොලේ බලාගාරය ඉදිකිරීම නිසා 2005 වනවිට රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 900 කි. ඉන්පසු මහින්ද රාජපක්ෂ රජය නොරොච්චොලේ බලාගාරය ඉදිකිරිමට තීරණය කරන ලදි. ඒ මොහොතේ මේ රටේ පරිසරවේදීන් , ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම එම ප්‍රදේශයේ කිතුනු පූජකතුමන්ලා දැඩි විරෝධය පලකල අතර ඒ සියල්ල පසකලා 900 Mw ක ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම 2006 ආරම්භවිය. එහි පලමු අදියට 2011 රටට දායාදවූ අතර ඒ තුලින් රටේ අනාගත විදුලි අර්බුදයට විසදුම් ලැබෙනු ඇතැයි රටේ ජනයා දෑස් දල්වා සිටියේය. 

මේ තත්වය තුල 2020 වනවිට රටේ විදුලි අවශ්‍යතාව දෛනික 2100 Mw  ත් 2400 Mw වන බව බලශක්ති විශේඥ්ඥයින් පෙන්වාදුන් පසුබිමක ඒ වෙනුවෙන් අවශ්‍ය බලාගාර ඉදිකිරීම වෙනුවෙන් වැඩපිලිවෙලක් ඉදිරිපත් විය. ඒ අනුව 150 Mw ඉහල කොත්මලේ ,120 Mw උමා ඔය, 35 Mw බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර, සාම්පූර් 500 Mw ක් හා නොරොච්චොලේ 4 වන අදියර 300 Mw ගල් අගුරු බලාගාර , මන්නාරම හා පුනරින් 100 Mw බැගින්වූ සුලං බලාගාර හා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ 100 Mw සූර්ය බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් සැලසුම් සකස්විය. 

ඉන්දියානූ රජයේ ණය ආධාර මත 2015  ඉදිකිරීම් ආරම්භ කිරීමට යෝජිතව තිබූ 500 Mw සාම්පූර් බලාගාරය රටට අහිමිවිය. ඒ එක්තරා දේශපාලන පක්ෂයක් හා සිවිල් සංවිධාන එක්ව අධිකරණයට ගොස් ඒ සදහා වාරණ ලබාගැනීම හා ඇතැම් ආගමික කොටස්වල හා දේශපාලන බලපෑම් නිසා එවක රජය එම ව්‍යාපෘතිය අතහැරදමන ලදි. එමගින් රටට සිදුවූ පාඩුව 2021 වසර වනවිට රුපියල් බිලියන 200 කි . එහි අමිහිරි සිදුවීම් වන්නේ අප රට තුල ඉදිකිරීමට යෝජිත තිබූ එම බලාගාරය බංග්ලාදේශය තුල ඉදිකිරීමට අදාල සමාගම එම රජය සමග ගිවිසුම් ගතවීම නිසා බංග්ලාදේශය තුල 500 Mw බලාගාරයක් ඉදිකල අතර එය "මෛත්‍රී"  ලෙස නම්කිරීමත්. ඒ තුලින් බංග්ලාදේශය විශාල මුදලක් රටතුල රදවාගෙන එරට ආර්ථිකය ශක්තිමත් කරගැනීමට ඔවුන්ට හැකිවුවාසේම අපේ රට පසුගියදා බංග්ලාදේශ රජයෙන් ලබාගන්නා තරමට අසමත් රාජ්‍යක් බවට පත්විය.

එමෙන්ම උමා ඔය බලාගාරය  කිසිදු සමාජ දැනුවත් කිරීමක් නොකර දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව පොලඹවා රටට අහිමි කරන ලදී. එහෙත් පසුව එහි වැඩකටයුතු ආරම්භ විය. උමා ඔය බලාගාරය තුලින් 120 Mw ක් 2020 වනවිට ජාතික පද්ධතියට එකතුවීමට නියමිතව තිබුනද දේශපාලන විරෝධය නිසා එය වසර දෙකකින් ප්‍රමාදවිය.

කැලණි ගග හරස් කොට ඉදිවෙන 35 Mw ක බ්‍රෝඩ්ලන්ඩ්  ව්‍යාපෘතියද ඉබිගමනේ ඉදිවෙමින් තිබේ. එයද 2020 ජාතික පද්ධතියට එක්වීමට නියමිතව තිබින. 

එමෙන්ම 100 Mw ක මන්නාරම සුලං බලාගාරයද ඉතා මන්දගාමි ලෙස ඉදිවූ අතර 2020 එය තෙමසකින් ඉදිකිරීමට ලැබුනු උපදෙස් මත 2020 අගදී ජාතික පද්ධතියට එයින් 100 Mw එකතුවිය.

ආගමික කණ්ඩායම් වල බලපෑම් නිසා වත්මන් රජයද නොරොච්චොලේ  4 අදියර නතර කර ඇතිබව තොරතුරු ලැබී ඇත.

ඉහත කී බලාගාර නිසිලෙස නිසි කලට ඉදිවූයේනම් අද රටට මේ ඉරණම අත්නොවනු ඇත. ඉහත බලාගාර තුලින් ජාතික පද්ධතියට 1300 Mw ඉක්මවූ ධාරිතාවක් එකතුවීමට තිබූ අතර එසේවූවානම් ඉන්ධන මත යැපීමට අවශ්‍ය නොවනු ඇත. එසේවූවානම් රටේ මේ තරම් බලශක්ති අර්බුදයක්ද නැත. 

2018 වසරේ රටේ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය ඒ සමග විශාල ධනස්කන්ධයක් වැයකර තුර්කි නැව් කොලඹ වරාය ආසන්න මුහුදෙ නැංගුරම්ලා තිබුනි. අවසානයේ රටටද ප්‍රයෝජනයක් නොමැතිව ලංවිම මුදල් පිටරැටියන්ට ගෙවාදැමුවේ මරි මෝඩ දේශපාලන තීන්දු නිසාය. 

සෑම වසරකම එන මේ විදුලි අර්බුදය හරහා දූෂිත දේශපාලකයින් , කූට ව්‍යාපාරිකයින් සමග ලංවිමට අරක්ගත් එක්තරා ඉංජිනේරූ කණ්ඩායමක මාෆියාව සිදුකරන හදිසී මිලදීගැනීම් නැමති ජාවාරම යහමින් සිදුවේ. මේ හරහා උකසට තබන්නේ රටේත් මහජනාතාවගේ බදු මුදල්වීම ඛේදවාචකයකි. මේ හදිසි මිලදීගැනීම් නිසා පෙර කී බලාගාර ඉදිකිරීම ප්‍රමාද වුවාද යන්න ඇතැම්විට සැකමතුවේ.

මේ තත්වය තුල පුනර්ජනනීය ප්‍රභව මගින් විදුලිය උත්පාදන ක්‍රමවේද වෙත පිවිසීමට රජය හා මහජනයාගේ අවදානය යොමුවුවද ලංවිම පාර්ශවයෙන් ඒ පිලිබද ඇත්තේ ඉතා මන්දගාමින් තත්වයකි එයට හේතුව ඇතැම් නිලධාරීන්ගේ මාෆියාව බව නොරහසකි. මන්ද හිරුගෙන් , සුලගෙන් හා වැස්සෙන් මාෆියාකරුවන්ට කොමිස් ලැබෙන්නේ නැති නිසාය.

ඒ අනුව රටට හොදින් පැහැදිලීවන්නේ බලාගාර ඉදිකිරීම ප්‍රමාද වන්නේ හා ඉදිනොවන්නේ දූෂිත දේශපාලකයා, ජාවාරම්කාර ව්‍යාපාරිකයා හා ඉංජිනේරූ මාෆියාව බවයි. මෙයින් රට මුදාගත් දිනක අපේ රටේ බලශක්ති අර්බුදය විසදෙනු ඇත.

ලංවිම අද සිටින්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයකය. එය නිර්මාණය කලාද ? කරගත්තාද ? යන්න නිශ්චිතවම කිව නොහැක. එනමුත් මේ සියල්ල සිදුවීමට ඉඩදී වරප්‍රසාද වරදාන වලට යටවු ලංවිම ඇතැම් නිලධාරීන් නෑහූ කන්සේ සිටියාය යන්න අපගේ හැගිමයි.

ලංවිම සේවකයාගේ වැටුප ගැන පම්පෝරි ගැසූ රටේ ඇතැම් මාධ්‍ය හා සංවිධාන කිසිදිනක ඔවුන්ගේ කැපකිරීම් අගය කලේ නැත. අත්තනෝමතික වැටුප් ලබන නිලධාරීන් ගැන කතා කලේ නැත. එහෙත් ලංවිම සේවකයින් උපේක්ෂා සහගතව සියල්ල දෙස බලා සිය ජීවිතය අවදානමට ගෙන රැකියාව කලේ මුලු රටක් අදුරේ නොතබා සිටීමටය. එහෙත් අද ඔවුන්ගේ අතිකාලවලටද තට්ටුකරන්නට පටන්ගෙන ඇත. ලංවිම මූල්‍ය අර්බුදය විසදෙන්නේ අතිකාල කප්පාදුවකින්ද ? ඉන්ධන සීමා කිරීමෙන්ද ? සේවක අයිතින් කප්පදු කිරීමෙන්ද ?

ඩීසල් ලීටරයකින් නිපදවිය හැකි විදුලි ඒකක ගණන 04 කි ඒ අනුව උදාහරණයක් ලෙස ඩීසල් ලීටරයක මිල රුපියල් 100 වන්නේ නම් ඒකකයක නිශ්පාදන වියදම පමනක් රුපියල් 25 කි එහෙත් අනුපාතයක් ලෙස පාරිභෝගිකයන්ට එය අලෙවි වන්නේ රුපියල් 22 කටය. ලංවිම අලාභය රුපියල් 03 කි.

නමුත් සමස්ථයක්  වශයෙන් ඉන්ධන මගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්නට රුපියල් 32.91 පමණ වේ. ( ඉන්ධන මිල අනුව වෙනස්වේ). මේ තත්වය තුල ගල් අගුරු මගින් විදුලි ඒකකයක් නිෂ්පාදන යට යන වියදම රුපියල් 09.81 කි , ජලය මගින් රුපියල් 02.32 කි, සුලං, සූර්ය බලාගාර හා කුඩා ජල විදූලි බලාගාර මගින් ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15.11  ක්වේ. වහල මත සූර්ය පැනල මගින් ඒකකයක් නිපදවෙන මිල රුපියල් 15.11 ත්  46 අතර වේ. මේ සියල්ල ගැලපූ පසුව අනුපාත අගයක් ලෙස සියලු ප්‍රභව මගින් ලංවිම ට ඒකකයක් නිපදවන්නට යන වියදම රුපියල් 22 කි. එහෙත් පාරිභෝගිකයන්ට එය අලෙවි වන්නේ රුපියල් 16.72 කටය ඒයින් ලංවිම රුපියල් 05 කට වැඩි පාඩු ලබන්නේය (වත්මන් ඉන්ධන මිල අනුව ලංවිම ඒකකයකින් ලබන පාඩුව රුපියල් 12 ඉක්මවනු ඇත). 

මේ බර පසුගිය කාලය පුරාවටම පාරිභෝගිකයන් මත නොතබා ලංවිම දරගන්නා ලදී. මහජනයා එය දුටුවේ ලංවිම යනු සුදු අලියකු ලෙසය. එහෙත් තිත්ත ඇත්ත මෙයයි. මේ තත්වයට මුවවී ලංවිම තුල දූෂිත ගණුදෙනු , අයතා මුදල් ගණුදෙනු යහමින් සිදුවේ. මෙය වසර 25 තිස්සේ පැවති ගැටලුවකි. 2011 පසුව විදුලි බිලද වැඩිනොවූ පසුබිමක් ඒ බර දෙගුණ තෙගුණ විය.

මේ සියලු අර්බුද පුපුරා යන්නේ covid 19 වසංගතය හමුවේ වත්මන් රජය ගත් දේශපාලන තීන්දුව නිසාය.

Covid 19 වසංගතය හමුවේ 2020 මාර්තු 17 සිට විටින් විට රට වසා දැමිය. එහෙත් අඛණ්ඩව විදුලිය සැපයිම ලංවිම සිදුකලේය. රජයේ උපදෙස් පරිදි කාර්යාල සේවා සිමාවිය. මේ පසුබිමක සියලු දෙනා නිවසට කොටුවිය. පවුලේ සියලු දෙනා නිවසේ සිටින විට රිසි සේ විදුලි පංකා, විදුලි උදුන්, වායු සමීකරන ක්‍රියත්මක විය. මේ සියල්ල නිවසේ විදුලි මනුවේ මනුගතවන බව කිසිවකුට මතකයට එන්නට නැත. මෙවන් තත්වයක මනු කියවන්නාට නිවසට ඒමට අපහසු වන්නේ  covid නිසාය මාස දෙක තුන එක දිගට මනුව ක්‍රියාත්මක විය. ලංවිම සේවකයින් කිසිම නිවසක මනු ක්‍රියාත්මක කලේ නැත. මනුකියවන්නා ලබාදුන්නේ පාරිභෝගිකයින්ගේ නිවසේ බිලය ( ඇතැම් අත්වැරදිම් හැර )  එහෙත් පාරිභෝගිකයන් ලංවිමට දොස් නගන්නට විය. බිල නොගෙවන්නට විය. ලංවිම පාලනාධිකාරිය  ඒ මොහොතේ වරදක් කලේය එනම් එම බිල්පත් නිකුත් කිරීම පිලිබද පාරිභෝගිකයන් නිසිලෙස දැනුවත් නොකිරීමයි. 

මේ රටේ අවාසනාවට බිහිවූ දේශපාලකයා මෙයින් ප්‍රයෝජන ගත්තේය. විපතක් මැදවුවද බලය ඒමට කැසකවන විපක්ෂය විදුලි බිලට සහන ඉල්ලන අතර විපත සැපතක් කරගෙන බලය රැකගන්නට වෙරදරන ආණ්ඩුව බිල නොගෙවන්නට පාරිභෝගිකයින්ට යෝජනා කලේය. ඒ අනුව වත්මන් රජය රටට හා ලංවිමට අහිතකර අවාසනාවන්ත තීන්දුවක් ගන්නාලදි. එහි විපාක අද රටම භුක්තිවිදිමින් සිටි. විදුලි සහනය දෙනවිට අත්පොලසන් දුන් පිරිස් අද නිහඩය. මේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් රජය ලංවිම බෙල්ල තවත් හිරකලේය. ඒ විදුලිබිල ගෙවන්නට වසරක සහන ලබාදුන්නේය ඒ සහනයෙන් ප්‍රයෝජන ගත් පාරිභෝගිකයන් විදුලිබිල ලක්ෂ ගනන් නොගෙවන තැනට පත් කලේය. අද වනවිට ලංවිමට අයවීමට ඇති හිග බිල් වල වටිනාකම කෝටි 4800 ඉක්මවා ඇත. ලංවිම රතුබිල් නිකුත් කලත් ඇතැම් පාරිභෝගිකයන් රජයේ සහනයට මුවාවී ගෙවීම් පැහැරහරින ලදි. මේ සමග රජය ජල බිලටද සහන දෙන බව කීවද ජල සම්පාදන මණ්ඩලය රජයේ තීරණයට එකග නොවීය ඔවුන් රතුබිල්.නිකුත් කර නිසි කලට බිල් අයකරගත්තේය. ලංවිමට එවැනි තීරණ ගැනීමට හැකි පාලනාධිකාරියක් ඒ මොහොතේ හෝ මොහොතේ නොතිබීම කණගාටුවට කරුණකි.

දේශපාලනය තරාතිරම නොබලා විදුලිය විසන්දි කලයුතුය හිග බිල් අයකලයුතුය. එසේ නොවීමේ විපාකය දැන් ලංවිම සේවකයින් මත පටවන තැනට පත්ව ඇත. මහා මන්දිරයේ සිට දුගී පැල දක්වා නීතීය ලංවිම තුල ක්‍රියාත්මක විය යුතුය. රජයේ විපක්ෂයේ ඉහල දේශපාලන නායකයින් පිරිසකගේ විදුලිය විසන්දිවනවිට තවත් පිරිසකගේ විදුලිය විසන්දි නොවේ. එමෙන්ම ඇතැම් ව්‍යාපාරිකයින්ට විදුලිය විසන්දි වේ තව පිරිසකට විසන්දි නොවේ සාමාන්‍ය ජනතාවටද එලෙසමය. එසේ නොකර රතු බිල අනුව ක්‍රියාත්මක විය යුතුය.එය මේ මොහොතේම කලයුතුය.

ලංවිම පාලනාධිකාරිය දැන් කලයුත්තේ විදුලිබිල ගෙවීමට පාරිභෝගිකයන් උනන්දු කරවීමට වැඩපිලිවෙලක් සැකසීමය. එසේ නොකර විවිධ බැංකු මගින් ණය ලබාගනිමින් ලංවිම පවත්වාගෙන යාම නොවේ. එමෙන්ම ලංවිම ඉහල නිලධාරීන් දැන් සුරලෝකයෙන් පහලට බැසිය යුතුය සැප අයතා කොන්ත්‍රාත් කරණය නතරකල යුතුය. ඒ සියල්ල කරමින් ලංවිම නොගගැනීමට කඩිනම් වැඩපිලිවෙලක් සැකසිය යුතුය. එසේ නොවන්නේනම් ලංවිමට අත්වන ඉරණම අවාසනාවන්ත එකකි. විවිධ චක්‍රලේඛ නිකුත් කරමින් වාරණ පනවමින් ලංවිම පහල සේවකයින් පීඩාවට පත්කරමින් මේ රැගෙන යන්නේ කුමන යුගයටද ? මේ කිසිම අර්බුදයකට ලංවිම කිසිදු පහල සේවකයකු වගකිවයුතු නොවන බව ඉතා පැහැදිලිව සදහන් කල යුතුය. 

ලංවිම වෘත්තීය සමිති හා සේවකයින් මේ සියල්ල දෙස උපේක්ෂා සහගතව බලාසිටින්නේ නිවටකම නිසා නොව මේ රටේ සැබෑ තත්වය හා මහජනයාගේ දැවැන්ත පීඩනය නිසා බව ලංවිම මේ තත්වයට පත්කල දූෂිත දේශපාලකයින්, වංක හා මාෆියාකාර ඇතැම් ඉංජිනේරූවන් හා කූට ව්‍යාපාරිකයින් හොදින් වටහාගත යුතුවේ. 

එලඹෙන මාස කිහිපය තුල රටේ විදුලි අර්බුදයක් පැනනැගෙන බව දැන දැන තම වෘත්තීය අයිතීන් වෙනුවෙන් රට උකස් තැබූ 2021 දෙසැම්බර් 02 රටටම විදුලිය බිදවැටීමට වගකිවයුත්තන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද ? එදා නොරොච්චොලේ බලාගාරය අක්‍රිය නොවුවානම් ඒ මොහොතේ ජල විදුලි බලාගාරවල ජලය රදවාගැනීමට අවස්ථාව තිබුනි. එසේවූවානම් විදුලි අර්බුදය මෙතරම් මෝදුවන්නේ නැත. දැන් සියල්ල සිදුවී ලංවිම සේවකයින් බෙල්ල මුලින් සිරකරමින් සිටී....

කෙසේවුවද ලංවිම සේවකයින්ගේ ඉවසීමේ සීමාවද දැන් ඉක්මයමින් තිබේ........

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
2022.03.26