2021 වැටුප් වැඩිකිරීම හා සාමූහික ගිවිසුම සම්බන්දව අප සංගමය හා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන් හා පාලනාධිකාරිය සමග අංක 437 , වික්‍රමරත්න ගොඩනැගිල්ලේ , කොල්ලුපිටිය යන ස්ථානයේ විදුලිබල අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේදී අද පෙ.ව.11.00 ට පැවැත්විණ. ( ප.ව 2.00 ට ලබාදී තිබූ මෙම සාකච්ඡාව අමාත්‍යතුමාගේ හදිසි රාජකාරියක් නිසා පෙ.ව. 11.00 ට ලබාදුන්නේය ) මුලින්ම පසුගියදා වෘත්තීය සමිති වෙත භාරදුන් සාමූහික ගිවිසුමේ ඇති 22 % වැටුප් ප්‍රතිශතය පිලිබද සාකච්ඡා කෙරින. එහිදි අමාත්‍යතුමා විසින් පවතින මූල්‍ය තත්වය, රටේ ආර්ථිකය, ලංවිමට සමගාමීව වැටුප් වැඩිකරන වරාය අධිකාරිය,ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව යන ආයතන තුල වැටුප් වැඩිවූ ප්‍රතිශත පිලිබදව මෙන්ම ලංවිම විශ්‍රාම වැටුප් අරමුදලේ වත්මන් මූල්‍ය තත්වය පිලිබද කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පවතින තත්වය මත ලබාදිය හැකි උපරිම වැටුප් වැඩිකිරීම 25 % බව ප්‍රකාශ කරන ලදී. එයට මැදිහත්වූ අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන) සෙනජිත් දසනායක මහතා සහ ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් මහතා කරුණු ඉදිරිපත් කරමින් විශ්‍රාම වැටුප් අරමුදලේ වත්මන් තත්වය හා අනාගතයේ ඇතිවන තත්වයන් පැහැදිලී කරන ලද අතර ඒ සියල්ල මත 22 % සේවකයා අතටත් 3% විශ්‍රාම වැටුප් අරමුදලටත් ලැබෙන ලෙස වැටුප් වැඩිකිරීමට යෝජනා කල බව සදහන් කරන ලදී. ඉන් පසු අදහස් දැක්වූ අප සංගමයේ නියෝජිතයන් සදහන් කලේ 30 % වැටුප් වැඩි කිරීමක් ලබාදීමටය එහෙත් ඊට එකගනොවූ අතර 25 % මූලික වැටුපටත් 1 % විශ්‍රාම වැටුප් අරමුදලටත්, 4 % අවදානම් රාජකාරියේ යෙදෙන තාක්ෂණික සේවකයින් වෙත ලබාදීමටත් යෝජනා කරන ලදී. එහිදි අවදානම් දීමනාව ලබාදීමේදි මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමේ දුෂ්කරතා පැහැදිලි කරන ලදි විශේෂයෙන් තවත් පාර්ශව දීමනාව 25 ක් පමන ඉල්ලා සිටීමද ගැටලුවක් වී ඇති බව පැහැදිලි කරන ලදී. ඒ අනුව දීර්ඝ ලෙස අවදානම් රාජකාරි පිලිබද අප නියෝජිතයන් පැහැදිලි කල අතර අමාත්‍යතුමා ඇතුලු නිලධාරීන් අවදානම් දීමනාව ලබාදීය යුතු බව පිලිගත් අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමේදි සහ අනෙකුත් පාර්ශව යෝජනා කල දීමනා ලබාදීමට ඇති ගැටලු නිසා ඒ වෙනුවෙන් කාලයක් වැයවන බවත් ප්‍රකාශ කරන ලදී. කුමන තත්වයක් යටතේවුවද උපරිම සීමාව 25 % බව යලිත් අවදාරණය කරන ලදී. ඉන් පසු සාමූහික ගිවිසුමේ 16 වගන්‍තියේ සදහන් විනය පටිපාටිය පිලිබද සාකච්ඡා කරන ලදී. එහිදී එම විනය පටිපාටිය ලංවිම සේවකයින් හා වෘත්තීය සමිති වෙත නොලැබීම පිලිබද සාකච්ඡාවට බදුන් අතර එහිදී ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) සදහන් කලේ එම ගැටලු විසදන බවයි. කෙසේ උවද එම විනය පටිපාටිය නීත්‍යානුකූල නොවන බවත් එහි ගැටලු පවතින බවත් එම නිසා නිවරදි විනය පටිපාටියක් සකසන තුරු මේවර සාමූහික ගිවිසුමේන් එම වගන්තියේ 2016 විනය පටිපාටිය යන කොටස ඉවත් කිරීමට යෝජනා කරන ලදී. එ පිලිබද අමාත්‍යතුමා පාලනාධිකාරිය පාර්ශවයෙන් ප්‍රශ්න කල අතර එහිදී සියලු දෙනා එක්ව එය සකස් කල බව සදහන් කරන ලදී. එහිදී අප සංගමය ප්‍රශ්න කරසිටියේ මේ සදහා වෘත්තීය සමිති අදහස් ලබාගත්තේද වෘත්තීය සමිති සමග සාකච්ඡා කලේද යන්නයි. එයට සභාවම නිරුත්තරවිය. ඒ අනුව විනය පටිපාටිය නිතර යාවත්කාලීන වන බවත් එහි අඩුපාඩු සංශෝධන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර විසදන ලෙස අමාත්‍යතුමා උපදෙස් ලබාදුන්නද අප සංගමය එයට එකගවුයේ නැත. අප දැඩි ලෙස සාමූහික ගිවිසුමේන් එම වගන්තිය ඉවත් කිරීම කලයුතුය යන ස්ථාවරය දරමු. ඉන් අනතුරුව බදවාගැනීමේ සහ උසස් කිරිමෙ පටිපාටිය පිලිබද සාකච්ඡා විය. එහිදී අතිරේක සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කලේ දැනට ඒ සදහා කමිටුවක් පත්කර වෘත්තීය සමිති අදහස් ලබාගත් බවයි. එහිදි අප සංගමය ප්‍රකාශකලේ එම කමිටුවේ විශ්වාසනීත්වය පිලිබද ගැටලුවක් ඇති නිසා ලංවිමෙන් පරිබහිර ස්වාධීන කමිටුවක් පත්කලයුතු බවයි. එහිදී අතිරේක සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කලේ පත්කල කමිටුව ඉතා ස්වාධීනව තීරණ ගන්නා බවයි. එහිදී අමාත්‍යතුමා සදහන් කලේ දක්ෂතා ,හැකියාව පලපුරුද්ද මත උසස්වීම් ලබාදීමේ ක්‍රමවේද අවහිර නොකරන ලෙසයි. ඒය අනුමත කරමින් අප සංගමයද සදහන් කලේ විදුලි අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ ක්‍රමවෙදය අවහිර නොකරන ලෙසයි. ඒ සදහා මැදිහත්වූ අතිරේක සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කලේ ඉංජිනේරු සභා පනත පිහිටුවීම සමග ඇතිව ඇති තත්වය පැහැදිලී කලේය. එහෙත් එම අවහිරතා මගහරවා ගැනිම සදහා ඉංජිනේරු සභාව සමග එලඹෙන සිකුරාදා සාකච්ඡාවක් පවත්වන බව ප්‍රධාන ඉංජිනේරු ප්‍රතිපත්ති සදහන් කරන ලදී. ඉන් පසු අප සංගමය යලිත් අවදානම් දීමනාව හා 30% වැටුප් වැඩිකිරීම ඉල්ලා සිටියද ඒ සදහා එකගතාව පල නොකරන බවත් උපරිම සීමාව 25 % බවත් සදහන් කලේය. පසුගියදා අම්බලන්ගොඩදී හදීසියේ අවාසනාවන්ත සිදුවීමකින් ජීවිතය අහිමිවූ පුෂ්පකුමාර ප්‍රියදර්ශන සහෝදරයාගේ අභාවය පිලිබද ඒ මොහොතේ අප සංගමයේ දැනුම් දීම මත ක්‍රියාත්මකවූ අමාත්‍යතුමන් එම සහෝදරයාට වන්දි මුදලක් ලබාදීම වෙනුවෙන්වූ ක්‍රියාමාර්ග ගැනීමට සභාපතිතුමන් උපදෙස් දුන් බවත් එතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමට නිවසට ගිය බවත් එහිදි එම පවුලේ අසරණ තත්වය හා මානුෂීය ගැටලු සලකා බලා ඔවුන් වෙත් කඩිනම් සහනයක් ලබාදීම කරන බව සදහන් කලේය. සාකච්ඡාවට සහභාගිවූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උතුර නියෝජනය කරමින් පැමිණි උප මාධ්‍ය ලේකම් නිහාල් කරුනාරත්න සහෝදරයාගෙන් අමාත්‍යතුමා විමසුවේ උතුරු නැගෙනහිර දමිල භාෂාව කතා කල නොහැකි සේවකයින් රාජකාරි සිදුකරන්නේද යන්නයි. එහිදී දමිල භාෂාව කතා කිරීමට නොහැකි සේවකයින් සුලු පිරිසක් සිටින බව සදහන් විය. එහිදි අමාත්‍යතුමා සදහන් කලේ දමිල හා මුස්ලිම් ජනයා බහුතරය වෙසෙන ප්‍රදේශ සදහා මෙලෙස භාෂාව පිලිබද ප්‍රවීණත්වය නොමැති සේවකයින් යොමු නොකරන ලෙසත්. ඒ ප්‍රදේශ සදහා භාෂාව පිලිබද දැනුම ඇති සේවකයින් යොදවන ලෙසත් උපදෙස් ලබාදෙන ලදී. ලංවිම ලාබදායි ආයතනයක් බවට පත් කිරීමට යෝජනා විමසූ අතර අප ප්‍රධාන යෝජනාව ලෙස කොන්ත්‍රාත් කරනය නතර කිරීමට යෝජනා කලේය. ඒ පිලිබද දීර්ඝ ලෙස සාකච්ඡා කලයුතු බවත් එ සදහා මේ මොහොතේ උදාහරණ කිහිපයක් පමණක් ඉදිරිපත් කරමින් ඒ පිලිබද කතිකාවක් නිර්මාණය කර ඉක්මනින් තිරණ වෙත එලබිමට එකගතාවය පලවිය. වැටුප් වැඩිකිරීමේදී අවදානම් දීමනාව ඇතුලු අප සංගමයේ යෝජනා පිලිබද සලකා බලා සාධනීය පිලිතුරක් නොවන්නෙනම් අප සංගමය සාමූහික ගිවිසුමට අත්සන් නොතබන බව අප සංගමය අවදාරණය කරන ලදී. මේ අවස්ථාවට ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම , අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන) සෙනජිත් දසනායක , ව්‍යාපෘති අධ්‍යක්ෂ (වරාය නගර ) ආචාර්ය විජේකෝන් බංඩා, ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් , විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමන්, විදුලිබල අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එෆ්.එම්.හෙන්ද්‍රිකස් යන මහත්වරුන් හා අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ , උප මාධ්‍ය ලේකම් නිහාල් කරුනාරත්න , උප භාණ්ඩාගාරික නදීප් ප්‍රියංකර ,මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර රාජපක්ෂ යන සහෝදරයින් සහභාගීවිය. මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන් සංගමය 2021 අප්‍රේල් 07