අද දිනයේ සිට ඉහළ විදුලි ඉල්ලුමක් පවතින කාල සීමාවේ දී විදුලි විසන්ධි කිරීමකින් තොර ව සුපුරුදු පරිදි අඛණ්ඩ ව විදුලිය සැපයිය හැකිබව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව අද සිට බාධාවකින් තොරව විදුලි සැපයුම සිදුකිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය තහවුරුකර තිබෙන බවයි ඔහු සඳහන් කළේ. පසුගිය 03 වැනිදා කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීයවීම නිසා විදුලිය බිඳවැටුණු අතර, එහි තුන්වැනි ජනන යන්ත්‍රය ඒ වනවිටත් නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කිරීම හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වූ බව ඔහු කියා සිටියා. එලෙස ජනන යන්ත්‍ර අක්‍රීයවූ විට යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා දින 4ක 5ක කාලයක් ගතවන බවත් මේ වනවිට තුන්වන සහ දෙවන ජනන යන්ත්‍ර පද්ධතියට එකතු කර තිබෙන හෙයින් අද සිට විදුලි සැපයුමට බාධාවක් ඇති නොවන බව සදහන් කලා. පළමු ජනන යන්ත්‍රයද හෙට දිනය වනවිට පද්ධතියට එකතුකළ හැකිබවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. - මාධ්‍ය ඒකකය , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය