අධිකාරි විභාගය පමා ඇයි

ලංවිමට එක්වන සෑම සේවකයකුගේම සිහිනය තමා විශ්‍රාම යන මොහොතේ ඉහල තනතුරක සිට විශ්‍රාම යාමයි. තාක්ෂණික සේවකයින්ගේ අති බහුතරය ඒ සිහිනය වෙනුවෙන් සිය උපරිම කැපකිරීම සිදුකරනු ලබයි. 

ඉතිහාසය පුරා ලංවිම පාලනාධිකාරිය හ තීන්දු තිරණ ගත් නිදහස් අධ්‍යාපනයේ වටිනාකම් දන්නා උගත් නිලධාරීන් පහල සිටිනා සේවකයින්ට තමන් දරන තනතුරු වලට එන්නට මාවත විවර කරදුන්නේ හා එයට නිති සකසා දුන්නේ කිසිම කුහකත්වයක්, පුහුමාන්නයක්, උද්දච්චකමක් හෝ අහංකාරකමක් නැතිවය. එමෙන් පහල සේවකයකු සිය සේවා පලපුරුද්ද , දැනුම ,අත්දැකිම් සමග ඉහල තනතුරකට පිවිසෙන විට ආයතනයට වන පලදායී සේවයද ඔවුන් හදුනාගත් නිසාය. එමෙන්ම ඒ ඔවුන් මහ පොලවේ පය ගැසූ මිනිස්සුන් නිසාය. එවන් උදාර මිනිසුන් ලංවිම තුලින් වියකී යමින් තිබෙන විට වත්මන් ඇතැම් නිළධාරීන් පහල සේවකයින්ට ඉහලට යාමට ඇති මාර්ග අවහිරකරන්නේ දැඩි ද්වේශයකින් වීම ඛේදවාචකයකි . 

අද ලංවිම තුල බිහිව ඇත්තේ තමන් උගතා වියතා මහා මොලකරු යයි හදුන්වාගනිමින් පලපුරුද්ද , අත්දැකීම්, සේවා දැනුම පසෙකලා පොතේ දැනුම පමණක් ඇති තමන්ගේ කුලකයේ උන් පමණක් මෙහි නිලධාරීන් වියයුතුය යන හීන සහ දූපත් මානසිකත්යෙන් පිරි එක්තරා සවිඥානික පිරිසකි. ඔවුන්  විවිධ නීති රීති ගෙන එමින් පහල සේවකයාට ඉහලට ඒමට ඇති සියලු මාවත් අවහිරකරමින් සිටි.

විදුලි , යාන්ත්‍රික , සිවිල් අධිකාරි තනතුරු සදහා අභ්‍යන්තර බදවාගැනිම කප්පාදු කිරීම එහි කූටප්‍රාප්තියයි. 2018 වසරේ විභාගය සමත් තාක්ෂණික සේවකයින් වෙත  විදුලි අධිකාරි තනතුරු පිරිනැමුවේ 2021 වසර මුලය. 2019 අවසන් විභාගයේ සමත් පිරිස 89 කි එහෙත් ඔවුන්ගෙන් කිසිවකුට මෙතෙක් පත්වීම් ලබාදිම තියා සම්මුඛ පරීක්ෂණ හෝ කැදවා නැත. ඒ ගැන කරුණු විමසූ කල පාලකයන් වෙනුවෙන් පෙනී සිටිනා වෘත්තීය සමිති නිලධාරීන් පවසන්නේ මේ සියල්ලට ඉංජිනේරූ සභා පනත හරස්වී ඇති බවය. එහෙත් අප දන්නා තරමින් ඉංජිනේරූ සභා පනත මේ කිසිවකට බාධාවක් වී නැත.

දැන් පාලකයින් ඔවුන්ගෙ දෙවනි මෙහෙයුම අරඹා ඇත. ඒ නීත්‍යානුකූලව  නතරකල නොහැකි විදුලි අධිකාරි අභ්‍යන්තර බදවාගැනිමේ විභාගය අනීතිකව වාචික ප්‍රකාශන මත අත්හිටුවා ඇත.  මෙය තාක්ෂණික සේවකයකු ලෙස උසස්වීම් ලැබීම වෙනුවෙන් කැපකිරීම් කරන සේවකයින්ට කරන බලවත් අසාධාරණයකි.

මේ පිලිබද දිගින් දිගටම කරුණු ඉදිරිපත් කල අප සංගමයට මෙතෙක් යහපත් ප්‍රතිචාර නොලැබුනි.

දැන් අප ලංවිම සභාපතිවරයාටද කරුණු ඉදිරිපත් කලේය. එතුමාගෙ පිලිතුර යහපත් නොවන්නේනම් තාක්ෂණික සේවක සැම එක්ව සිය බලය පෙන්වීමට අරගල කිරීමට ඉදිරි දිනක පෙලගස්වන්නට අප සූදනම්ය.


අපට අහිමි කරන අපේ අයිතීන් වෙනුවෙන් එකාවන්ව පෙලගැසෙමු

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 මාර්තු 28