ලංවිම තාක්ෂණික සේවකයින් සිය රාජකාරි සිදුකරනු ලබන්නේ නොපෙනෙන මරුවකු සමග බව සමස්ථ ජාතියම පිලිගන්න කරුණකි. එවන් සේවකයින් සිය ජීවිතය මෙන්ම පවුලේ අනාගතයද උකසට තබා සිදුකරන රාජකාරිය සුලුපටු නොවේ. මෙවන් වගකීම් සහිත රාජකාරියක නිතර වෙමින් තිබියදී ඉතා අවාසනාවන්ත ලෙස ජීවිත අහිමිවූ අවස්ථා ගණනාවකි.

එහි ආසන්නතම සිදුවීම පසුගිය දෙසැම්බර් 05 රාත්‍රියේ බත්තරමුල්ල තලංගම පයිප්ප පාරේ විදුලි බිදවැටීමක් යථාතත්වයට පත්කිරීමට ගොස් සිටියදී විදුලි කණුවකින් ඇද වැටි තලංගම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවයකල ගීත් ඒ වික්‍රමනායක සහෝදරයාට ජීවිතය අහිමිවීමයි. එම සිදුවීම සමග එම සහෝදරයාගේ බිරිද හා දින 7 වයසැති සිගිති දරුවා ඇතුලු පවුලේ සියලු දෙනා ඉතා අසරණ තත්වයට පත්ව තිබේ.

වෘත්තීය සමිතියක් ලෙස අපගේ වගකීම වන්නේ ලංවිමට අහිමිවූ ගීත් සහෝදරයා වෙනුවෙන් යුක්තිය ඉටුකර පවුලේ උදවියට සාධාරණය ඉටුකිරීමයි. ඒ වෙනුවෙන් අප ඉතිහාසයේ මෙන් වර්තමානයේද කොන්දේසි විරහිතව පෙනිසිටින්නෙමු. මීට පෙර මෙලෙසම ජීවිත අහිමිවූ සහෝදරවරුන්‍ට හා පවුලේ උදවියට සාධාරණය ඉටුකරන්නට අපට හැකිවිය. එහි ආසන්නතම සිදුවීම වන්නේ 2018 මැයි 05 පාදුක්කේදී සිදුවූ අනතුරකින් ජීවිතය අහිමිවූ සුපුන් ධනංජය සහෝදරයාගේ බිරිද වන නිමාලී ජයසුන්දර මහත්මියට පසුගිය ඔක්තෝම්බර් මස 14 දින ලංවිම ස්ථිර රැකියාව හිමිවිමයි. වසර ගණනාවක් තිස්සේ අප සංගමය දැරූ උත්සහයක ප්‍රතිපලයක්වන අතර ඒ සමග 2016 සිට අත්හිටුවා තිබූ එවැනි සේවකයින් 26 දෙනෙකුගේ යැපෙන්නන් වෙත රැකියා අවස්ථා හිමිවිය. ඒ අයුරින්ම ගීත් වික්‍රමනායක සහෝදරයාට උපහාරයක් පිණිස ඔහු වෙනුවෙන් බිරිදට හා පවුලේ උදවියට කල හැකි උපරිම සාධාරණය ඉටුකිරීමට අප වෘත්තීය සමිතියක් ලෙස සූදානම්ව සිටී.

මාධ්‍ය ඒකකය

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය